ගයමු ගීයක් දැන් අපි නිදහසේ………….!!!


 

72 වන ජාතික නිදහස් දින උත්සවය ආරම්භ වීමට ඇත්තේ තව හෝරා කිහිපයක් පමණකි. මෙවර ජාතික නිදහස් දිනය ලඟාවන්නට මාස කිහිපයක සිටම සමාජයේ ඒ පිලිබදව දැඩි උනන්දුවක් සහ කතාබහක් ඇති වී තිබුණි. නව ජනාධිපතිවරයෙක් නව රජයක් පත්වීමෙන් පසුව එලැබෙන ප්‍රථම නිදහස් දින උත්සවය පිලිබඳව රටේ මහ ජනතාව හා එකි රජය විශේෂ අවධානයක් යොමු කිරීම සාමාන්‍ය සංසිද්ධියකි. එහෙත් මෙවර එකී අවධානය දෙගුණ තෙගුණ කරන්නට සමත් වී ඇත්තේ මෙවර ජාතික නිදහස් දින උළෙලේදි ජාතික ගීය දෙමළ බසින් ගායන කරනු ඇද්ද යන ප්‍රශ්නාර්ථය නිසාවෙනි.  

ඔබටත් මටත් මේ පිලිබඳව කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් තව වසර ගණනක් යන තුරු එකිනෙකා හා වාද කරමින් සිටිය හැකිය. පසුගිය මාස කිහිපය තුල ජනප්‍රිය දේශපාලන ප්‍රවාහය තුල අප අත්වින්දේ එවැනි මහා වාදයන්ය. රටකට තිබිය යුත්තේ එක් ජාතික ගීයක් බව එක් පාර්ශවයක් තර්ක කරනු ඇත, තමන්ට නොතේරෙන භාෂාවකින් ජාතික ගීය ගැයිමේ අරුත කිම දැයි අනෙක් පාර්ශවය තම හඬ අවදි කරනු ඇත. මේ කිසිදු අන්තයකට නොමැති තවත් පිරිසක් තම මතයක් පල කිරිමෙන් වැලකී සිඳුවන්නේ කුමක්දැයි බලා සිටිනු ඇත.  

මෙහි ඇති නරකම ප්‍රථිපලය නම් මේ ඉදිරියට පැමිණ ප්‍රසිද්ධියේ මේ පිලිබඳව තම මතය පලකරන පාර්ශවයන් දෙස අප බලන්නේ එකී ජන කොට්ඨාශයේ මතය ඉදිරිපත් කරමින් ඔවුන් නියෝජනය කරන්නන් ලෙසය. එහෙත් සැබෑවටම එය එසේමද? ශ්‍රී ලංකාවේ ජීවත් වන බහුතරයක් සිංහල ජනතාව තවමත්  දකින්නේ දෙමළ දේශපාලන නායකයන්ගේ අදහස් හා සිතුම් පැතුම්ය. සමස්ත දෙමළ ප්‍රජාවගේම සිතුම් පැතුම් හා අභිලාෂයන්ද ඊට 100% සමාන යැයි අපි වරදවා වටහාගෙන ඇත. මෙහි අනෙක් අන්තයද එලෙසම සත්‍යය වේ, බහුතරයක් දෙමළ ජනතාව සිංහල ප්‍රජාවගේ සිතුම් පැතුම් හා අභිලාෂයන් ලෙස දකින්නේ ජනප්‍රිය සිංහල දේශපලකයන්ගේ අදහස් හා මති මතාන්තරය.  

කුමන ජාතියක් හෝ ආගමක් වේවා,   දේශපාලකයින්ට ඇත්තේ වෙනම න්‍යාය පත්‍රයකි. එකී න්‍යාය පත්‍රය පෙළගැස්වෙන්නේ කෙසේ හෝ තමන්ගේ බලය තහවුරු කර ගැනීමටය. ඔවුන්ගේ න්‍යාය පත්‍රයන් දැක අතරමං වන ජනතාව ඔවුන්ගේ මතය තමන්ගේ මතයද කරගෙන දෙපාර්ශවයේම දේශපාලන නායකයින්ට අවැසි අනවශ්‍ය ගැටුම් නිර්මාණය කරමින් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරති. ජාතික ගීය කෙසේ ගායනා කල යුතුද යන්න එසේ මේ පාර්ශවයන් විසින් ඇති කරන ලද එවන් එක් ගැටුමක් පමණකි. වසර 11 කට පෙර එකිනෙකා හා යුද්ධ කරමින් සිටි වකවානුව අප අවසන් කලද, එදා සිට අද දක්වා සිංහල හා දෙමළ ජනයා උදේ හවා මතවාදිව තවමත් දැඩි අරගලයක නියැලි සිටිති. ජාතික ගීයක් ලෙස අපට මතුපිටට පෙනනේනේ එකී මතවාදි අරගලයේ එක් ප්‍රථිපලයක් පමණකි.  

සැබැවින්ම ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ මිනිසුන්ට ඇති එකම ප්‍රශ්නය ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට නොහැකි වීමද? සැබැවින්ම නැත. අප දෙපාර්ශවයටම එදිනෙදා ජිවීතයේදි ජාතියක් වශයෙන් මුහුණ පාන්නට සිඳුවන දහසකුත් ප්‍රශ්න තව බොහෝමයක් ඇත. රටේ ජිවත් වන සාමාන්‍ය සිංහල හා දෙමළ වැසියන් හා හෘදයාංගම අදහස් හුවමාරුවකට එලැබීමට ඔබට හැකිවුව හොත් ඔවුන්ගේ සැබෑ ප්‍රශ්න හා ගැටලු මීට හාත්පසින්ම වෙනස් බැව් ඔබට එවිට වැටහෙනු ඇත. එහෙත් අප කොතැනින් හෝ මේවාට උත්තර සෙවිම ආරම්භ කල යුතුව ඇත.  

වසර 30 කට අධික කාලයක් එකම රටක් තුල ජීවත් වන ජාතීන් දෙකක් වශයෙන් අපි එකිනෙකාට දැඩි වැරදි අකටයුතුකම් සිඳු කොට ඇත. තවකෙකුට වැරැද්දක් කිරීම පහසු කාර්යයකි. එහෙත් ඒ කල වැරැද්ද පිලිගෙන ඊට සමාව අයැදීම අතිශය අසීරු කර්තව්යකි. එයට දැඩි නිර්භිත්වයක් හා නම්‍යශීලි බවක් අවැසිය. රටක් වශයෙන් ඉදිරියට යෑමට අපට අවශ්‍ය නම් ජාතීන් දෙකක් වශයෙන් අපි ප්‍රථමයෙන්ම සිදුවූ සියල්ල පිලිබදව එකිනෙකාගෙන් සමාව අයැද සිටිය යුතුය, අනෙකා කෙරෙහි නම්‍යශීලි ප්‍රථිපත්තියක් අනුගමනය කල යුතුය.  

මෙය අප දෙපාර්ශවයෙන් කවුරු හෝ ඉදිරියට පැමිණ ආරම්භ කල යුතුය එවිට අනෙකාද ඉදිරියට පැමිණ පෙරලා අපගෙන් සමාව අයැදිමත් අප කෙරෙහි නම්‍යශීලි එළැබුමකට අවතීර්ණ වනු ඇත. මේ මොහොතේ ජාතික ගීයක වේශයෙන් අප ඉදිරියට පැමිණ ඇත්තේද එවන් එළැබුමකට මඟ පෑදිය හැකි අතිශය දුර්ලභ අවස්ථාවකි.  

සැබැවින්ම ජාතික ගීය දෙමළ බසින්ද ගයනා කිරිමට අවසර ලැබුනහොත් ඔබටත් මටත් ඉන් නැතිවන්නේ කුමක්ද? කිසිවක් නැත. ඒ වෙනුවට අපට අපෙන් ඈත් වි සිටින අපේම සහෝදර ජනතාවකට අපගේ නම්‍යශලීත්වය විදහා දැක්විය හැකිය, මේ රට අප දෙපාර්ශවයටම අයිති බවට ඔවුන්ට හඟවන්නටත් ඔවුන් හා අත්වැල් බැඳගෙන එකම රටක් තුල එක ගමනක් යෑමට ඇති අපේ ඕනෑකම අපට එවිට පෙන්විය හැකිය. වඩා බලවතා ලෙස සිංහල ජාතීයට මේ ප්‍රගතිශිලි පියවර ගැනීමට හැකිනම් එය මේ ධනාත්මක එලැඹුමේ වටිනාකම තව තවත් වැඩි කරන්නට සමත් විය හැකිය.  

ජාතික ගීය පිලිබඳව ප්‍රශ්නය සමාජය තුල කතාබහ කෙරෙන සෑම අවස්ථාවකදීම එය සිංහල බසින් පමණක් ගයනා කල යුතුයැයි හඬ නඟන පිරිස මතුකරන ප්‍රධානතම නිදර්ශනයක් නම් ඉන්දියාවේ තත්වයයි. ජාතීන් ආගම් අති විශාල ගණනක් සිටින ඉන්දියාව වැනි රටකට එක ජාතික ගීයක් පමණක් ඇත් නම් අප වැනි රටකට එලෙස කිරීමට නොහැකි මන්දැයි ඔවුන් නඟන ප්‍රධානතම තර්කයකි. අප ප්‍රශ්න දෙස බලන්නේ අපට අවශ්‍ය කෝණයෙන් පමණක්ය යන්නට මෙය හොඳම උදාහරණයකි. විවිධ ජාතීන් සිය ගණනක් ජීවත් වන ඉන්දියාවට ඇත්තේ එක් ජාතික ගීයක් බව ඇත්ත කරුණකි. එහෙත් ඉන්දියානු ජාතික ගීය ගයනා කරනුයේ බහුතරයකගේ භාෂාව වන හින්දියෙන් නොව 14% පමණ සුලුතරයකගේ භාෂාවක් වන බෙංගලි බසින් බව අපි හිතා මතාම අමතක කරන්නෙමු. අප අනෙකාගේ ප්‍රශ්න දෙස අපගේ කෝණයෙන් පමණක් නොව අනෙකාගේ කෝණයෙන්ද බැලිමට අවශ්‍ය ශක්‍යතාව වර්ධනය කර ගත යුතුව ඇත. එවිට අපට ඔවුන්ගේ දුක කාංසාව මෙන්ම සතුටද එක ලෙස එක්ව විඳිය හැකිය. සිංහලය මහ ජාතිය වූ රටක උපතින් සිංහලයන් වී ජීවත් වන අප එක මොහොතකට හෝ අප දෙමළ වැසියෙකු වි ඉපදුනේ නම් අපගේ ජීවිතය කෙසේ වෙනස්වන්නට තිබුණිදැයි සිතීමට මොහොතක්  වෙන්කල හැකිනම් මේ සියලු ප්‍රශ්න වලට විසදුම කුමක්දැයි අපටම එවිට වැටහෙනු ඇත.  

තමා උපන් රටට දැයට ආදරය කිරීමට භාෂාව කිසිඳු ලෙසකින් අප බාධාවක් නොකරගත යුතුය. අපට හැකි ලෙස අපට තේරෙන භාෂාවකින් අපගේ හෘදයාංගම හැගීම රට වෙනුවෙන් ප්‍රකාශ කිරීමට අපට අයිතිවාසිකමක් යුතුකමක් මෙන්ම හැකියාවක්ද තිබිය යුතුය.  ඒ සියල්ලටම වඩා ජාතික ගීයකින් ගායනා කරන, ප්‍රකාශ කරන දේට වඩා යමක් අප අපගේ මාතෘභූමිය වෙනුවෙන් ක්‍රියාවෙන් ඉටුකල පෙන්විය යුතුය.

අපගේ අසැල්වැසියාගෙන් ඉගෙන ගැනීමට අපට බොහෝ  දේ තවත් ඇත. පහතින් දැක්වෙන්නේද එයට හොද උදාහරණයකි.  

සැබෑ නිදහසින් සපිරි සුභම සුභ නිදහස් දිනයක් වේවා අප මාතෘභූමියට…..!!!


Comments

Popular posts from this blog

ශ්‍රී ලාංකීය ඉංජිනේරුවන්ගේ වර්තමාන හා අනාගත අභියෝග.