ශ්‍රී ලාංකීය ඉංජිනේරුවන්ගේ වර්තමාන හා අනාගත අභියෝග.


මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ  සිටම, ඉංජිනේරුවන්ගේ කාර්යභාර්යය මානව සංහතියේ ප්‍රගමනයෙහිලා ප්‍රබල සාධකයක් විය. ආරම්භයේදි සතුන් දඩයම් කිරීමේ අදහසින් තනන ලද ගල් ආයුධ ප්‍රථම ප්‍රාථමික ඉංජිනේරු නිර්මාණයන් ලෙස සැලකිය හැකිය. එතැන් පටන් ක්‍රමයෙන් නමුත් වේගයෙන් ඉදිරියට ගලා ගිය මෙම සැඟවුන ඉංජිනේරුවන්ගේ කාර්යභාර්යය නව මං පෙතකට යොමු කරන්නේ රෝදයේ සොයා ගැනීමයි. එදා සිට අප ජීවත් වන වර්තමාන ලෝකය දක්වා මිනිසා පසුකොට ඇති සෑම මං සලකුණකදීම සමාජ පරිවර්තනයක් උදෙසා ඉංජිනේරුවන් ඉටු කොට ඇති මෙහෙය අතිමහත්ය. ලෝකය ආ ගමනේදී එතෙක් මෙතෙක් පැවති සියලු දියුණු ශිෂ්ටාචාර ගෙන සලකා බැලු විටද විද්‍යමාන වන කරුණක් නම් එකී එක් එක් ශිෂ්ටාචාරයේ පැවැත්ම, උන්නතිය හා සංවර්ධනය යන සියල්ලන්ටම දක්ෂ ඉංජිනේරුවන්ගේ මෙහෙය තද බල ලෙස බලපා ඇති බවයි. මෙය අප ජීවත් වන ශ්‍රී ලංකාවටද එලෙසම පොදු විය. ශ්‍රී ලංකාව සමෘර්ධිමත්, සශ්‍රීක හා සංවර්ධිත රාජ්‍යයක් ලෙස පැවතුණු අතීත රජ සමයේ එම තත්වයට ලාංකික රාජ්‍යය ගෙන ඒමට මුල් වුයේ එඩිතර, රණකාමී හා නැණවත් රාජ්‍ය පාලකයන් නිසාම පමණක් යැයි සිතීම උගහටය. ලෝකයම මවිත කල වාරි නිර්මාණ, ගඩොල් නිර්මාණ,යකඩ හා රත්රන් භාවිතය වැනි සියලු අංශවලින් අන් රාජ්‍යයන් අතික්‍රමණය කල ශ්‍රී ලාංකීය අතීත ඉංජිනේරුවා, සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරිමට කරන ලද නිහඩ නමුත් අනගි මෙහෙය අතිමහත්ය. මේ සියලු කරුණු වලින් මනාව පැහැදිලි වන කරුණක් නම් ආර්ථික, සමාජයීය මෙන්ම යුධමය වශයෙන් ශක්තිමත් රාජ්‍යයක් බිහි කිරිමට එනම් රටක ජනතාවගේ ජීවන තත්වය උසස් කිරිමට, ජිවිත අපේක්ෂාව වැඩි කිරිමට හා ජීවිතයේ ගුණාත්මක බව වැඩි කිරිමට දක්ෂ, නිර්මාණශීලි  ඉංජිනේරුවන් පිරිසකගේ අවශ්‍යතාවයයි.


වසර 2500 කට වඩා ඈත ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවට තවමත් සංවර්ධිත රාජ්‍යයක් වීම සිහිනයක් පමණක් වී ඇත්තේ මෙකී දක්ෂ, නිර්මාණශීලි හා අභියෝග ජය ගැනිමේ හැකියාව ඇති ඉංජිනේරුවන්ගේ අඩුව නිසාද නැතහොත් වර්තමානයේ බිහිවන ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් නූතන අභියෝග ජයගත නොහැකි පිරිසක්ද යන වග විවාදයට බදුන් විය යුතු කරුණකි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය තිස්ස විතාරණ මහතා වරක් (2007 වර්ෂයේදී) ප්‍රකාශ කර ඇති අන්දමට ඇමෙරිකානු ජාතික අභ්‍යාවකාශ ඒජන්සියේ (NASA ආයතනයේ) සේවයේ නියුතු ඉංජිනේරුවන් හා විද්‍යාඥයින් අතරින් 263 පමණ ශ්‍රී ලාංකිකයන්ය. තවද පර්යේෂණ මත පදනම්ව තම උසස් අධ්‍යාපන කටයුතු පවත්වා ගෙන යන ලෝකයේ ප්‍රථම පෙළේ විශ්වවිද්‍යාල බහුතරයක ශිෂ්‍යයන් මෙන්ම කථිකාචාර්යවරුන්, මහාචාර්යවරුන් ලෙස සේවය කරන ලාංකිකයන් ගණන අතිමහත්ය. එපමණක් නොව වර්තමාන ලෝකයේ තාක්ෂණික පෙළහර පාන  ඉහල පෙළේ සමාගම් හි සේවයේ නියුතු හා ඉහල පුටුවල වැජබෙන  ලාංකීය ඉංජිනේරුවන් ගණන සැලකිය යුතු තරම්ය. කරුණු මෙසේ පෙළගස්වා බැලු කල පැහැදිලි වන කරුණක් නම් ශ්‍රී ලාංකාවෙන් බිහිවන්නේ දක්ෂ, නිර්මාණශීලි හා අභියෝග ජය ගැනිමේ හැකියාව ඇති ඉංජිනේරුවන් පිරිසක් නොවේ යන කරුණ බිද වැටෙන බවයි. නමුත් 80 දශකයේ මුල් භාගයේ සිට විදේශයන්ට ගෘහ සේවකයින්, මෙහෙකරුවන් බිහිකරන රටක් බවට පත්වු ශ්‍රී ලංකාව වර්ථමානය වන විට ඉංජිනේරු මෙහෙකරුවන් බිහිකරන රටක් බවට පත්වි ඇති බව ආයාසයකින් වුවද පිළිගත යුතුව ඇත.

මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය බුද්ධිගලනයේ ප්‍රතිඵලයක් ලෙස පිළිගැනිමට කතුවරයා දක්වන්නේ මැළිකමකි. මන්දයත් බුද්ධිගලනය යනු සංවර්ධිත රාජ්‍යයක වුවද සුළුවට හෝ ඇතිවිය හැකි තත්වයක් වන අතර එය ලෝකයේ ඕනෑම රටකට පොදු විය හැකි කාරණයකි. නමුත් ශ්‍රී ලංකාවෙන් පිටත සේවය කරන ඉංජිනේරුවාගේ හා ශ්‍රී  ලංකාව තුල සේවය කරන ඉංජිනේරුවාගේ ශක්‍යතාවයේ, නිපුණතාවයේ වෙනසක් ඇතිද? ඇති නම් ඊට බලපා ඇති හේතු කවරේද යන්න සොයා බැලිය යුතු කරුණකි. ‍මෙහි මූලය සොයා යාමේදි ශ්‍රී ලංකාවේ දැනට පවතින විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමවේදය දෙස අපගේ අවධානය යෙමුවන්නේ ආයාසයකින් තොරවය. රටට අවශ්‍ය කරන වෘත්තිකයන්ගේ අභිජනන භූමිය වන විශ්වවිද්‍යාල පද්ධතිය, රටට අවශ්‍ය පරිදි තම කාර්යය ඉටු කරන්නේද යන්න සොයා බැලිය යුතුය. රජය විසින් ප්‍රදානය කරන නිදහස් අධ්‍යාපනය රටක් වෙනුවෙන් යොදා ගන්නා මනා අනාගත ආයෝජනයක් වන නමුත් එය වර්තමාන ආයෝජනයක් බවට පත් කළ හැකි ආයතනයකි, විශ්ව විද්‍යාලය. ඒ අන්කිසිවකින් නොව එක් එක් විශ්වවිද්‍යාලයේ අධ්‍යනාංශ මගින් එකී එක් එක් ක්ෂේත්‍රයේ උන්නතිය හා ප්‍රගමනය වෙනුවෙන් සෘජු හා වක්‍රාකාරයෙන් දක්වන සහය නිසාය. අනෙකුත් සියළු ක්ෂේත්‍රයන්ට වඩා ඉංජිනේරු ක්ෂේත්‍රයේදි රටකට  ඉංජිනේරු අධ්‍යනාංශ මගින් මේ සහය වඩාත් ප්‍රමුඛව ලැබෙයි. නමුත් එහි කාර්යය වඩාත් සාර්ථක වන්නේ විශ්වවිද්‍යාලත්, බාහිර කර්මාන්තයන් අතර හොද අන්තර්ක්‍රියාවක් හා සම්බන්ධතාවයක් පවතී නම් පමණි. සැබවින්ම මෙය ලාංකීය ඉංජිනේරු ශිෂ්‍යයන් මෙන්ම කර්මාන්තකරුවන්ද මුහුණපාන ගැටළුවකි. තවමත් ශ්‍රී ලංකාවේ ඉංජිනේරු අධ්‍යනාංශ හා ඊට අදාල කර්මාන්ත අතර දැඩි බැඳීමක් හා අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් නොමැති කමින් සිදුවී ඇත්තේ විශ්වවිද්‍යාලය හා එහි ශිෂ්‍යයන් සතු දැනුමත්, කර්මාන්තකරුවන් හට ඇති තාක්ෂණයත් දෙතැනකට වී තිබිමය. නමුත් සාර්ථක යාන්ත්‍රණයක් මගින් මෙම දැනුමත් තාක්ෂණයත් නිරන්තරයෙන් හුවමාරු වීමට අවස්ථාව ලබා දුනහොත් ශිෂ්‍යයන්ට එය තම ක්ෂේත්‍රයෙහි ප්‍රවීනත්වය ලැබිමට මහඟු අවස්ථාවක් වන අතරම කර්මාන්තකරුවන්ට තම කර්මාන්තයෙහි ඇති තාක්ෂණික ගැටළු සමථයකට පත්කොට ගෙන එහි කාර්යක්ෂමතාව ඉහළ නංවා රටේ ආර්ථිකයට වැඩි දායකත්වයක් දැක්විය හැකිය. අනෙක් අතට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තවමත් පර්යේෂණ අභිමුඛ තත්වයට එළැබ නොතිබීම මෙකී තත්වය තව තවත් ත්‍රීව කිරිමට දැඩි ලෙස බලපා ඇත.
ශ්‍රී ලාංකීය ඉංජිනේරුවරුන්ට වර්තමානයේ අත් වී ඇති ඉරණමට තවත් එක් ප්‍රධාන හේතුවක් නම් ඉංජිනේරු අධ්‍යනාංශයන්හි ඉගැන්වීම් කටයුතු කරන බහුතර අචාර්ය, මහාචාර්යවරුන් පිරිස හුදෙක් න්‍යායන් ප්‍රගුණකරන්නන් පිරිසක් පමණක් වීමත්, බාහිර කර්මාන්තයන් හා ඔවුන් අතර ඉතා දුර්වල අන්තර්ක්‍රියාවක් හා සම්බන්ධතාවයක් පැවතීමත්ය. එපමණක් නොව විශ්වවිද්‍යාල තුල එක් එක් අධ්‍යනාංශ හුදකලා ගමනක නිරතවීමත්, එම එක් එක් අධ්‍යනාංශ අතර අන්‍යෝන්‍ය අන්තර්ක්‍රියාකාරීත්වයක් හෝ තරඟයක් නොමැති වීමත් මීට දැඩි ලෙස බලපා ඇත. මින් අපේ රටට සිදු වී ඇති අගතිය අතිමහත්ය. උදාහරණයක් ලෙස ගත් කල ලෝකයේ දෙමුහුම් මෝටර් රථ (Hybrid Automobiles) නිපදවීමට වසර ගණනාවකට පෙර මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශය විසින් සාර්ථක දෙමුහුම් එන්ජිමක් සහිත රථයක් නිපදවන ලදි. නමුත් නව නිපැයුමක් ලෙස එදා එය යටපත් වී ගියේ එහි අත්‍යවශ්‍ය ක්‍රියාකාරීත්වයන් පවා ස්වයංක්‍රීය නොවු හෙයිනි. එදා එම නිර්මාණය කිරිමේදී යාන්ත්‍රික ඉංජිනේරු අංශය හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අංශය එකතුව තම තමන්ගේ යුතුකම් ඉටු කරමින් සාර්ථක නිර්මාණයක් බිහිකලේ නම් ලොව ප්‍රථම දෙමුහුම් රථයේ සාඩම්බර හිමිකරු විමට ලංකාවට ඉඩ තිබිණි. මෙලෙස ඉතිහාසයේ අපට අහිමිව ගිය හා වැරදුන තැන් තව කොතෙකුත් ඇතිද? වර්තමාන ලෝකයට අවශ්‍යව ඇත්තේ එක් එක් අධ්‍යනාංශයන්හි කොටුවී සිටින ඉංජිනේරුවන් පිරිසක් නොව, තම විෂයෙහි ප්‍රවීණත්වය ලබන අතරම අනෙක් සියළුම ක්ෂේත්‍ර පිලිබඳව මනා අවබෝදයක් හා දැනුමක් සහිත බහුවිද ඥාණයන්ගෙන් සපිරුණු පිරිසක්ය. අනාගතයේදි මෙම තත්වය හා අවශ්‍යතාවය තව දුරටත් වැඩි දියුණුවනවා මිස අඩුවීමක් කිසිසේත්ම බලාපොරෙත්තු විය නොහැකිය. නමුත් තවමත් වර්තමාන ලාංකීය ඉංජිනේරු පීඨ මෙකී අවශ්‍යතාවය කෙතරම් දුරට වටහා ගෙන ඇතිදැයි නැවත සිතා බැලිය යුතුය.

එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහි වු අති විශිෂ්ට ඉංජිනේරු පරමාදර්ශි චරිත වු එස්.ඒ කුලසිංහ, රේ. විජේවර්ධන වැනි චරිත තව දුරටත් අප අතරින් බිහි නොවන්නේ මන්දැයි අප සොයා බැලිය යුතුව ඇත. මෙකී ඉහත චරිත එක එක ගෙන බැලූ විට පැහැදිලිව පෙනෙන කරුණක් නම් ඔවුන් එකී තත්වයට ඔසවා තැබුනේ අන් කිසිවකින් නොව ඔවුන් තමන් නියැලි සිටින ක්ෂේත්‍රයේ නව මානයන් සොයා යමින් රට තුල පවතින ගැටළුවලට ප්‍රායෝගික හා සාර්ථක විසදුම්, නිමැවුම් කල නිසාවෙනි. එම නිසා එවන් ඉංජිනේරු පිරිසකගේ අවශ්‍යතාවය රටට දැඩිව දැනෙමින් පවති. ශ්‍රි ලංකාව සංවර්ධිත රාජ්‍යයක් කිරීමේදි ඉංජිනේරුවන් විසින් ඉටු කල යුතු ප්‍රථම පියවර වන්නේ උපදින සෑම පුරවැසියකුගේම ජීවිත සුරක්ෂිතතාවය තහවුරු කර, ජීවත් වීමට අත්‍යවශ්‍ය මූලික සාධක වලින් ලාංකීය මහජනතාව සන්නද්ධ කිරීමයි. නිවාස, පානීය ජලය, විදුලිය, මහාමාර්ග යන අතවශ්‍යතා තවමත් සිහිනයක් වී ඇති ජනතාවට ඒවා ලබා දීමට එකී ප්‍රදේශ වල පවතින ස්වභාවික හා අනෙකුත් සම්පත් සාර්ථක ලෙස ප්‍රයෝජනයට ගනිමින් නව විසඳුම් ලබා දීමට වර්තමාන ඉංජිනේරුවන් තම අදහස්, යෝජනා ලබා දිය යුතුයමය. මේ ආකාරයෙන් සුවිශාල සමාජ වගකීමක් හා යුතුකමක් ඉංජිනේරුවන් වශයෙන් අප දෙඋර මත නිරන්තරයෙන් රැදුනද රටේ එදිනෙදා සංසිද්ධීන් තුලින් වැටහෙන්නේ තවමත් අප බහුතරය එහි නියම වටිනාකම හා අවශ්‍යතාවය හදුනාගෙන නැති බවය.
චීන ඉංජිනේරුවන් විසින් නිරමාණය කල නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය කාර්මික දෝශයක් නිසා වරින්වර ක්‍රියාවිරහිත වු විට හෝ ඉන්දියාවෙන් ආනයනය කල දුම්රිය යන්ත්‍ර දෝශ වලට මුහුණ දී රටේ එදිනෙදා ක්‍රියාකාරීත්වයට බාධා එල්ල කළ විට එවා නිරාකරණය කරගත නොහැකිව චීනයේ හෝ ඉන්දියාවේ ඉංජිනේරුවන්ගේ හා තාක්ෂණ ශිල්පීන්ගේ සහය ලබා ගැනිමට සිදු වු විට ජනතා අප්‍රසාදය පලවුයේ විෂයභාර අමාත්‍යවරයා හා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ රජයට වුවත් සැබවින්ම ඊට වගකිවයුත්තේ ලාංකීය ඉංජිනේරුවන් නොවේද? ඔවුන් සතු දැනුම අපට නැතැයිද, ඔවුන් අපට තම තාක්ෂණ ඥාණය සිතා මතා නොදි සිටිමට වග බලා ගන්නවායැයි 21වන සියවසේ ගෝලීයකරණය වූ ලොවක ජීවත් වෙමින් තව කොපමණ කලක් අප රටේ ඉන්ජිනේරුවන්ට කිව හැකිද? අසාර්ථක ව්‍යෘපෘතියැයි කියන්නාවු මහවැලි යෝජනා ක්‍රමයට හෝ නිල්වලා යෝජනා ක්‍රමයට තවමත් අපට විකල්ප නැත. මෙකි ව්‍යාපෘති නිසා අපගේ අතීත වාරි පද්ධතිය විනාශව ගිය බවද මධ්‍යම කදුකරයේ හා රජරට උද්ගත වන ස්වභාවික විපත් බොහොමයකට ප්‍රධානතම හේතුව මහවැලි ව්‍යෘපෘතිය බවද, නිල්වලා යෝජනා ක්‍රමය නිසා කුඹුරු අක්කර දහස් ගණනක් පාළු වී ගිය බවද පුන පුනා කීමට ලාංකීය ඉංජිනේරුවන් බහුතරයක් මැලි නොවුනත් ඊට ප්‍රතිකර්ම, විකල්ප සෙවිමට හෝ අතීත ලංකාවේ වාරි කර්මාන්තයේ, ඉදිකිරිම් තාක්ෂණයේ සැගවුණු තැන්, අක්මුල් සොයා යැමට අප කී දෙනෙක් සැබවින්ම උත්සාහගෙන ඇත්දැයි සොයා බැලිය යුතුව ඇත. අපගේ රටේ අවශ්‍යතාවන් වෙනුවෙන්  රටේ මානව හා ස්වභාවික සම්පත් ප්‍රයෝජනයට ගනිමින් සාර්ථක විසදුම් සෙවිය හැක්කේ එහි ඉපදුනු, ජීවත් වන අපට බව සැබැය. නමුත් අපගේ ශක්‍යතාවය රට පාලනය කරන රජයන්ට ඒත්තු ගැන්විමට කිසිදු ක්‍රියාකාරීත්වයක් හෝ ධනාත්මක එලැඹුමකට ලාංකීය ඉංජිනේරුවන් වශයෙන් අප පැමිණ ඇති දැයි අප අපගෙන්ම ප්‍රශ්න කල යුතුව ඇත. ඉංජිනේරුවන් වශයෙන් අනෙක් වෘත්තිකයන්ට වඩා අපට විශේෂයෙන් උරුම ගණිත ඥාණය, තර්කණ හැකියාව හා විශ්ලේෂණ හැකියාව රටේ අවශ්‍යතාවයන් වෙනුවෙන් නියම ලෙස අප  භාවිතයට ගන්නේද යන්න සැක සහිතය. රට වෙනුවෙන් ඉටුකරන තාක්ෂණික ක්‍රියාදාමයන් වලට අමතරව ඵලදායි විසදුමක් නොමැතිව දිනෙන් දින උග්‍ර වන අලි මිනිස් ගැටුම, රිය අනතුරු, කැළි කසල වැනි රටේ බහුතර ගැටළු බොහෝමයකට සාර්ථක විසදුම්,උපදෙස් ලබා දිය හැක්කේ අපට නොවේද? සැබවින්ම අප ඉංජිනේරුවන් වශයෙන් රට වෙනුවෙන් අපගේ කාර්යභාර්යය නිවැරදිව හඳුනාගෙන ඇතිද යන්න ගැටළු සහගතය. මන්දයත් වර්තමානය වන විට රටේ ප්‍රමුඛතම ඉංජිනේරු පීඨය වන මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයන්ගෙන් 30% පමණ තම වෘත්තිය හෝ කාර්ය භාර්යය පිලිබද නිවැරදිව වැටහීමක් නොමැතිව CIMA, CIM වැනි වෘත්තීමය ව්‍යාපාර හා කලමණාකරණ පාඨමාලා හාදාරමින් සිටී. නමුත් වඩාත්ම කණගාටුවට කාරණාව නම් සෑම වසරකම ශිෂ්‍ය කණ්ඩායමකින්ම 10% ක පමණ වු අති දීප්තිමත් පිරිසද මීට ගොදුරු ව රටට අවශ්‍ය ඉංජිනේරුවන් ලෙස නොව හුදෙක් කලමණාකරුවන් ලෙස තම වෘත්තීය ජීවිතයට එලැබීමය.
ඉංජිනේරුවන් වශයෙන් අප රට සංවර්ධන මාවතට ගෙන යාමේදි මේ හා අදාළ ගෝලීය නිදර්ශන සළකා බැලීමද අත්‍යාවශ්‍ය කරුණකි. උදාහරණයක් වශයෙන් තවමත් වර්තමාන ලෝකයේ ප්‍රබලයා ලෙස සැලකෙන ඇමෙරිකාව එකී තත්වයට ඔසවා තැබුවේ කුමක්දැයි කිසිවෙක් ඇසුවෙත් කතුවරයාගේ ඊට පිලිතුර වන්නේ සද තරණයයි.සැබැවින්ම එතෙක් මෙතෙක් ඉතිහාසයේ ඇමෙරිකානු ඉංජිනේරුවන්ගේ කාර්යභාරයේ අග්‍ර ඵලය නම් මේ අපූරු සඳ තරණයයි. ප්‍රථම මිනිසා සද මතට යැවීමට රුසියාව සමග පැවති සීතල යුද්ධය ඇමෙරිකාවට ලබා දුන්නේ ඉතිහාසයේ යෝධ පිම්මකි. එතෙක් ඉතිහාසයේ කිසිවකු විසින් නොකල ව්‍යාපෘතිය ජය ගැනීම වෙනුවෙන් ඔවුන් සිය සියළු ඉංජිනේරු අංශයන්හි නව මානයන් සොයා ගිය අතර ව්‍යාපෘතියේ සාර්ථකත්වය හා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට ද්‍රව්‍ය ඉංජිනේරු තාක්ෂණය මෙන්ම ඉලෙක්ට්‍රොනික, යාන්ත්‍රික, සන්නිවේදන හා විදුලි යන සියළු ඉංජිනේරු තාක්ෂණ අංශයන්හි නව නිර්මාණ, තාක්ෂණ නවීකරණය, නව අත්හදා බැලීම් හා පර්යේෂණ යන සියළු මාර්ග ඔස්සේ අතිසාර්ථක මෙහෙයුමක් අවසන් කර මානව වර්ගයාට නව පිම්මක් ලබා දෙමින් සීතල යුද්ධය ජය ගත්තේය.  ඉතිහාසයේ ප්‍රථම වරට මිනිසුන් සද මතට රැගෙන ගිය නමුත් ඇමරිකාවට තමන් කල ඒ අති විශාල ආයෝජනයේ නියම ඵල ප්‍රයෝජන, අතුරු ඵල ලැබෙනුයේ සද තරණයෙන්ද වසර කිහිපයක් ගතවීමෙන් පසුවය, ඒ කෙසේදයත් ඔවුන් සඳ තරණ ව්‍යාපෘතිය වෙනුවෙන් සොයා ගත් නව තාක්ෂණය, නවීන මෙවලම් හා ක්‍රම විධි එදිනෙදා ලෝකයේ තාක්ෂණික අවශ්‍යතා වෙනුවෙන් ආදේශ කිරිමට උත්සාහගත් අතර ඔවුන්ට එහි ප්‍රතිඵල ලෙස ලැබුනේ කිසිලෙසකත් බලාපොරෙත්තු නොවු ආකාරයේ සාර්ථකත්වයකි. අදටත් නවීන ඇමෙරිකාවේ සන්නිවේදන තාක්ෂණික ක්‍රම උපායන්, යුධ ආරක්ෂණ විධි, රොබෝ තාක්ෂණය, ද්‍රව්‍ය හා රසායන ඉංජිනේරු තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික හා යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය යන සියළු අංශ වලින් පෙළහර පාමින් ලොව අන්  සියළු රාජ්‍යයන් තම අණසකට පත් කරගත්තද ඒ සියළු මූලෝපායන්ගේ තිඹිරිගෙය සද තරණ ව්‍යාපෘතියම විය. මේ හා සමකාලීනව මේ ව්‍යාපෘතින්ට සමගාමීව ඇමෙරිකානු ඉංජිනේරුවන් තවත් සුවිශේෂි ව්‍යාපෘතියක නිරත විය. එනම් ඔවුන් තම සියළු තාක්ෂණික ඥාණය, අත්දැකීම්, උසස් උපදෙස් යන සියල්ල සලකා බලමින් මුළු රටම ආවරණය වන පරිදි අති දියුණු මහා මාර්ග පද්ධතියක් නිර්මාණය කල අතර ඒ සියල්ලෙහි ප්‍රතිඵලය නම් බිඳ දැමිය නොහැකි රාජ්‍යයක් බිහි වීමයි. මීට බොහෝ සෙයින් සමාන සංසිද්ධියක්  අප අසල්වැසි ඉන්දියාවේද සිදුවිය. වසර සිය ගණනක ඉංග්‍රිසි යටත් විජිතවාදයෙන් මිදී පූර්ණ නිදහස ලබා වසර 20 ක් ඉක්ම යන්නටත් ප්‍රථම එවකට ඉන්දීය දේශපාලන නායකයන්, ඉංජිනේරු තාක්ෂණික ප්‍රවීණයන් තාක්ෂණය  අතින් ශක්තිමත් අනාගත ඉන්දියාවක් වෙනුවෙන් පිඹුරුපත් සැකසු අතර එහි අභියෝගාත්මක ප්‍රථම පියවර නම් ඉන්දියාවට ස්වදේශිය මිසයිල ආරක්ෂණ පද්ධතියක් පිහිටවීමයි. ලෝකයේ දෙවැනියට වැඩිම ජනගහණය ඇති හා එයිනුත් බහුතරය අන්ත දුගී දුප්පතුන් ගෙන් පිරි ඉන්දියාවේ සාම්ප්‍රදායික දේශපාලනික, තාක්ෂණික, මාධ්‍ය යන අනේකවිධ විචාරකයන්ට අනුව එය ඉන්දීය ඉතිහාසයේ දරුණුම ඛේදවාචකය මෙන්ම මුග්ධම දේශපාලන තීරණය විය. නමුත් සියළු අවාසි සහගත තත්වයන් තමාගේ වාසියට හරවා ගනිමින් අබ්දුල් කලාම් නම් අද්විතීය ඉංජිනේරුවා ප්‍රමුඛ තාක්ෂණ විප්ලවවාදීන් පිරිස ස්වදේශීය මිසයිල සමගම ඉන්දියාව තාක්ෂණික ලෝකයේ ඉහළට  රැගෙනයාමේ මෙහෙයුම 100% ස්වදේශිය ඉංජිනේරුවන් හා තාක්ෂණ ශිල්පීන්ගේ දායකත්වයෙන් ආරම්භ කල අතර පසුව ඊට සමාන ක්‍රියාන්විතයක් ප්‍රථම ඉන්දීය රොකට්ටුව ගුවන් ගත කිරිමටද ක්‍රියාත්මක කලේය. ඉන්දියාව එදා ගත් අභියෝගාත්මක තීරණයේ වටිනාකම හා  වර්තමානයේ ඔවුන් ලෝකයේ සිටින තත්වය හා ක්‍රියාකාරකම් මොනවට පැහැදිලි කරයි. වර්තමානයේ ලාංකීය රාජ්‍යයට හා එහි ඉංජිනේරුවන්ට හා තාක්ෂණික ශිල්පීන්ටද අවශ්‍ය වන්නේ මෙවැනි අභියෝගාත්මක ව්‍යාපෘතීන් මිස ජනතාවගේ බදු මුදලින් බහු ජාතික සමාගම් වලින් චන්ද්‍රිකා මිලයට ගෙන එය අපේ යැයි සිතින් පමණක් සතුටු වෙමින් කක්ෂ ගත කිරිම නොවේ.
කරුණු සියල්ල මෙසේ වුවත් අප අනාගතය පිළිබදව කිසිසේත් බිය විය යුතු නැත. මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම යකඩ, ජල තාක්ෂණය ,හුමාල බලය, වානේ,විදුලිය වැනි විවිධ නවෝත්පාදන තාක්ෂණ රැලි හා යුග ඔස්සේ වර්තමානයේ අප ජීවත් වන ඩිජිටල් ජාල, තොරතුරු තාක්ෂණ යුගයට අප සැම රැගෙන ගොස් ඇත. මින් පසු ඇති වන තාක්ෂණ රැල්ල හා යුගය නම් ධරණීය සංවර්ධනය, අත්‍යන්ත සම්පත් ඵලදායිතාව (Radical Resource Productivity), හරිත රසායනය, හරිත සංකල්පය, කාර්මික පරිසර විද්‍යාව, පුනර්ජනනීය ශක්ති ප්‍රභව හා නැනෝ තාක්ෂණය යන කරුණු වලට මුල්තැන දෙන ලෝකයකි. වචන වලින් බරසාර වුවත් මේ සියල්ල අප හොදින් දන්නා හදුනන, අප මෙතෙක් කලක් අත්විඳි, අපේ ආදී මුතුන්මිත්තන් අපට හා ලෝකයට හදුන්වාදුන්, දායාද කල ආරම්භය, අවසන් ඵලය පමණක් නොව සමස්ත  ක්‍රියාවලියම පරිසර හිතවාදි, මානම හිතවාදි වන අනාගතය උදෙසා සම්පත් සංරක්ෂණය කල අපේම ක්‍රියාපටිපාටිය, තාක්ෂණය නොවේද? නැතහොත් වසර 2500 කට පෙර බුදුරජාණන් වහන්සේ අපට සන්තුස්සකෝ ච සුභරෝ ච, අප්පකිච්චෝ ච සල්ලහුකවුත්ති, සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච, අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ ලෙස කරණීයමෙන්ත සූත්‍රයෙන්  දේශනා කල අල්පේච්චබව, සරලබව, ලද දෙයින් සතුටු වීම හා පහසුවෙන් පෝෂණය කල හැකි වීම වැනි සියළු ගුණාංගයන්ගෙන් සපිරුණු සමාජ පද්ධතිය නොවේද?
තව දුරටත් සීගිරිය, ජේතවනාරාමය හෝ පරාක්‍රම සමුද්‍රය ගැන පුරාජේරු දෙඩීම නවතා අප අපට උරුම එකී අනාගත යුගයේ ආධිපත්‍යය හා කේන්ද්‍රය ශ්‍රි ලංකාවට ලබා ගත යුතු අතර ඊට අවශ්‍ය චින්තන හා   ගෝලීය දැනුම් විප්ලවයකට අප දැන්ම සුදානම් වී අසමත් රාජ්‍යයක්ව ඇති අප රට ඉන් මුදාගත යුතුය. ශරීරයේ සංසරණය වන සෑම DNA අණුවකම එකී උරුමය හා ශක්‍යතාවය ගැබ්ව ඇති ශ්‍රී ලාංකිකයන් වන අප එම යුගයේ ලෝකයට ධරණීය සංවර්ධනය ඔස්සේ හරිත ලෝකයකට මග පෙන්වන මාර්ගෝපදේශකයන් හා උපදේශක ඉංජිනේරුවන් විය යුතුමය. මන්දයත් අප ආදි මුතුන් මිත්තන් සියතින් නිර්මාණය කල ශ්‍රි ලංකාව අපගේ දෙපයින් බිඳ නොදමා වර්තමානයේ ඉලෙක්ට්‍රොනික වහලුන් බිහි කරන ජාතියක් වී ඇති අප හෙට නැනෝ වහලුන් බිහිකරන ජාතියක් වීම වලකා අනාගත ලෝකයට අවශ්‍ය පරමාදර්ශි රාජ්‍යය අප රට තුලින් ප්‍රතිනිර්මාණය කල යුතු නිසාවෙනි.




Comments

Popular posts from this blog

ගයමු ගීයක් දැන් අපි නිදහසේ………….!!!